ගීතයක් සේ- 1 කොටස
උදෑසන නිහඬය. පාලුය. සිත නොසන්සුන් වී ඇති දැනේ. වෙනදාට අලුයම අවදි වන්නට පුරුදුව සිටි ඈ අද තවමත් ඇඳ මත වැතිරී හිස් බැල්මකින් යුතුව වහලය දෙස බලාගෙන සිටියාය.මේ අලසකමට හේතුව කුමක්ද? ඇය සිතුවාය. පෙරදින සවස රුපවාහිනියේ විකාශය වූ ගීතයක ගායකයා දුටු මොහොතේ සිට මේ ආගන්තුක හැඟීම දැනුණු බව ඇයට මතකය. අහම්බෙන් දුටු ඒ රුව ඇයට බෙහෙවින් හුරු පුරුදු සෙයක් දැනීම ඊට හේතුව විය.
"එයා හරියට දිනේෂ් අයියා වගේ" ඕ සිතුවාය.
දිනේෂ් යනු පෙර දිනෙක ඇගේ ඇසුර පතා පැමිණි තරුණයෙකි. එකල ඇයට වයස 14ක් තරම් විය. ඔහු ඇයට වඩා වසර දෙකකින් පමණ වැඩිමහලු වන්නට ඇත. ඔහු කොපමණ ඇය පිලිබඳ බලාපොරොත්තු පොදි බැඳ සිටියත් ඇයට නම් ඔහු ගැන අංශුමාත්‍රයක තරම් වත් හැඟීමක් නොවීය. ඇය කොපමණ ප්‍රතික්ෂේප කළ ද ඔහු වසර 6ක් තරම් දිගු කාලයක් ඇය පිලිබඳ අදහස අත් නොහැරි බව සිහිවන විට දැනුදු ඇයට ඇතිවන්නේ අනුකම්පාවක් මිස ආදරයක් නම් නොවේ.
"පව් කුශී. දිනේෂ් අයියා තාම හිතන්නේ ගැන." දිනක් ඇගේ මිතුරියක වූ දිලිනි කී අයුරු ඇයට සිහිවිය.
"ඉතින් මට මොකෝ? මම එයාට කියල නෑනේ මම ගැන හිතන් ඉන්න කියල."
"උඹ නම් එකියක්. මොකක් හින්දද උඹ දිනේෂ් අකමැති?"
"ෂිහ්. රස්තියාදුකාරයෙක්. රැවුලත් වවාගෙන."
"හරි හරි මම එයාට කියන්නම්කො රැවුල කපාගන්න කියල. එතකොටවත් උඹ කැමති වෙනවද?"
"මේ විකාර කතා නොකිය හිටපං යෝදියේ. මට ඕනේ ඇති කොල්ලෙක් නෑ."
"නමුත් දිලිනි එය ඔහුට කියන්නට ඇති බව ඇයට සිතුනේ පසුදිනෙක ඔහු රැවුල කපා පිරිසිදුවට පිළිවෙලට සිටිනු ඇය දුටු බැවිනි. ඔහු කොපමණ කඩවසම්දැයි ඇයට සිතුණු නමුත් ඔහුට පෙම් කරන්නට නම් ඒ සිතිවිල්ල ප්‍රමාණවත් නොවීය.
"දිනේෂ් අයියට එයා කැමති විදිහකට ඉන්න කියන්න දිලිනි. මට එයා ගැන එහෙම කිසිම අදහසක් නෑ." ඇය පසුව සිය මිතුරියට කීවෙ එහෙයිනි.
"හේතුව?"
"මගේ හිතේ ඉන්න කෙනා එයා නෙවෙයි"
"අනේ අම්මප උඹයි උඹේ බම්බු හිතයි" දිලිනි තරහෙන් පවසා යන්නට ගියාය.
දැනුදු විටෙක මහමගදී ඇයට ඒ තරුණයා හමුවන මුත් ඔවුනතර සාමාන්‍ය ඇසුරක් හෝ නොවීය. සැබවින්ම අසල්වාසි කිසිදු තරුණයෙකු සමග ඇගේ ඇසුරක් නොවිණි. තරුණයන් ආඩම්බරකාරියක් යනුවෙන් ඇය හැදින්වුයේ එහෙයිනි. දැන් ඇයට වයස 22 පමණ වන අතර ඇය පෙර සිටි කුශී ම වුවාය. නමුත් ඒ ළමා වියේ සිට ඇයට පෙම්බැඳි තරුණයා නම් බොහෝ නරක පුරුදු ඇබ්බැහි වී තිබිණි.
"පව් කුශී. උඹ ඒ දවස් වලම දිනේෂ් අයියට කැමති උනා නම් එයා අද ඔහොම නාස්ති වෙන්නේ නෑ." ඇගේ මිතුරිය කීවේ දෝෂාරෝපණයක හඩිනි.
"මගේ හිතේ ආදරයක් නැතුව කොල්ලෙක්ට කැමති වෙන්න මට බෑ. මං ඔය කියන දිනේෂ් අයියත් එක්ක අද වෙනකම් වචනයක් වත් කතාකරලත් නෑ. හරියට අඳුනගන්නෙත් නැතුව පුලුවන්ද මිනිහෙක්ට කැමති වෙන්න? නාස්ති වෙන කෙනා කොහොමත් නාස්ති වෙනවා. ඒකෙ වැරැද්ද මගේ පිට දාන්න එපා දිලූ"
"ඇත්ත කියන්න කුශී. ඔයාට තාම කොල්ලෙක් නැද්ද? අවුරුදු 22ක් වෙලත් තාම හරියන කෙනෙක් හම්බුනේ නෑ කිව්වම හරි පුදුමයි"
"මගේ හිතේ ඉන්න කෙනා ලැබුනොත් විතරයි මං ආදරේ කරන්නේ"
"අපි හැමෝම සිහින කුමාරයෙක් ගැන හිතන් හිටියට අපිට එයාවම ලැබෙයි කියල හිතන්න බැහැනේ කුශී. කවදාවත් හැබැහින් දැකල නැති හීනෙකට ආදරේ කරනවට වඩා ලැබිල තියෙන කෙනෙකුට ආදරේ කරන එකයි වටින්නේ"
මිතුරිය පැවසුවද ඇය තම මතයෙහිම එල්බගෙන සිටියාය. එසේනම් පෙරදින තමා දුටුවේ ඒ සිතේ ඇඳී තිබු රුව ද? ඒ ගායකයා කෙරෙහි තමා තුල ඇතිවුයේ සාමාන්‍ය රසිකයෙක් තම ප්‍රියතම කලාකරුවා කෙරෙහි දක්වන කැමැත්තක් නොවන බව ඇයට විශ්වාස ය. එසේනම් ඒ හැඟීම කුමක්ද? තමා ඒ නොහඳුනන තරුණයාට පෙම් කිරීමට ද සැරසෙන්නේ? නිෂිත දැරණියගල. ඇය සැබවින්ම දැන සිටියේ ඔහු මෑතකදී ගායන ක්ෂේත්‍රය නමැති අඹරට එක් වූ නව යොවුන් තාරකාවක් බව පමණි.
"කුශී..."ඇගේ සිතිවිලි දාමයට බාධා කරමින් සාලය දෙසින් මවගේ කටහඬ ඇසිණි. මොහොතකින් මව දොර රෙද්ද මෑත් කර කාමරයට එබුනාය.
"කුශී....මොකද තවම නිදි? සනීප නැද්ද?
"නෑ එහෙම දෙයක් නෑ අම්මා"
"එහෙනම් ඇයි තාම නිදි...? වෙනදට ඔයා පාන්දරම නැගිටිනවනේ."
"නිකම් ඉතින්...මට කම්මැලි හිතුනා."
"හ්ම්...යසයි ගෑණු ළමයගේ කතාව. නැගිටින්න නැගිටින්න. කැම්පස් යන්නේ නැද්ද?"
"හරි හරි ඉතින් ඕකට ඕකට ඔච්චර කෑ ගහන්නෙපා අනේ. ඔයා මගේ සුදු අම්මනේ ඉතින්"
*************************************************************************************************************
ප්‍රථම වරට දුටු මොහොතේ පටන් ඒ ගායකයා නිසා ඇය අසාමාන්‍ය වෙනසකට ලක්වුවාය. ඔහු එතරම් ප්‍රසිද්ධ නොවූ මුත් ගායන හැකියාවෙන් පිරුණු තරුණයෙකි. සැබවින්ම ඒ වනවිට ඔහු නිර්මාණය කර තිබුණේ ගීත 2ක් පමණි. නමුත් ඒ ගීත දෙකම යම් තාක් ප්‍රසිද්ධ වූ අතර ඔහුම ඒවායේ රූප රචනා වලට පෙනී සිටියේය. අහම්බෙන් කුශී දුටුවේ එයින් එක් ගීතයකි. රසිකයන් අතරට ඒ ගීත එක් වුයේ ඔහු කඩවසම් තරුණයෙක් වූ නිසාය. බොහෝ යුවතියෝ ඔහුට ඇලුම් කලේද එහෙයිනි.
ගායකයෙකුට පෙම් කිරීමට කිසිදු උවමනාවක් ඇයට නොවූ නමුත් ඒ රුව දකින විට කුමක් දෝ හැගුමකින් ඇය සිත දැවිණි. ඔහු ගැන පළවූ පුවත්පත් සාකච්චා සියල්ල ඇය කියෙව්වාය. ඔහුගේ ඡායාරුප බලමින් සිතේ හැගුම් තේරුම්ගන්නට ඇය උත්සහ කළා ය. සැබවින්ම තමා තුල ඔහු කෙරෙහි ඇත්තේ ආදරයක්ද? නොඑසේනම් සාමාන්‍ය රසිකාවියක් දක්වන කැමත්තක්ද? ඇයට නොවැටහිණි.
සිතිවිලි අතර අතරමංව සිටි ඈට තම හැගුම් පවසන්නවත් කිසිවෙක් නොවිණි. මධ්‍යම රාත්‍රියද ලඟා වී ඇති නමුත් නින්ද අහලකවත් නැත. ඇය දිනපොත අතට ගත්තාය. සිතට දැනෙන අදහස් ඔහේ කුරුටු ගෑවාය. පසුව ලියු දෑ කියවූ ඇය දුටුවේ නොදැනුවත්වම තමා අතින් අරුත්බර ගීයක් රචනා වී ඇති බවයි. සැබවින්ම ඇය හොඳ ගීත රචිකාවියකි. පාසලේ මෙන්ම සරසවියේද මොනයම් උත්සවයක් වුවද එහි තේමා ගීතය රචනා කලේ ඇයය. තමන් ලියු පද වැල් දෙස බලා සිටි ඇය එය ගීතයකට ඔබින බව සිතුවාය.
දිනපොත වසා දමන්නට සැරසෙත්ම අහම්බෙන් මෙන් ඇය දුටුවේ මේසය මත තිබූ පුවත්පත් ලිපියකි. එය නිෂිත දැරණියගල පිළිබඳව විය. එහි ඔහුගේ ලිපිනයද සඳහන් වී තිබිණි. තමන් ලියු ගීතය දෙසද ඒ ලිපිය දෙසද ඇය මොහොතක් වෙලා බලා උන්නේ තීරණයක් ගත නොහැකිව මෙනි.
*************************************************************************************************************
"මගේ අම්මේ....උඹට ඇවිත් තියෙන ලියුම් තොගේ. ජනාධිපතිටවත් එන්නතුව ඇති මෙච්චර ලියුම්.." නිශිතගේ හොඳම මිතුරා වූ සහන් පැවසුවේ ලියුම් මිටියක්ම දිගු කරමිනි. නමුත් දෙනෙත පියාගෙන ගිටාරයේ තත් පිරිමදිමින් කල්පනාවක වෙලී හුන් නිශිතට මිතුරා කියූ වදන් නෑසිණි.
"නිෂිත....නැගිටපන් බුරුවො. උඹ හීන ලෝකේ තරු ගණන් කරනවද? මෙන්න උඹට අදත් ලියුම් මිටියක්ම ඇවිල්ල තියෙනවා." සහන් මහා හඬින් පවසද්දී ඒ හඬින් කලබල වූ නිෂිත වහා තිගැස්සී දෙනෙත් හැරියේය.
"මොනාද බං වද දෙන්නේ?" ඔහු ඇසුවේ බාධා කිරීම පිලිබඳ නොසතුටිනි.
"ඇති යන්තම් පියවි ලෝකෙට ආව. වද නෙවෙයි. මෙන්න උඹේ රසිකයෝ ලියුම් එවල."
"ඔන්න ඔහෙන් තියපන්. මං පස්සේ කියවන්නම්" නිෂිත පැවසුවේ උදාසිනව ය.
"ගායකයෙක් උනාම රසිකයෝ ගැනත් ටිකක් හිතන්න ඕනේ."
"මට ඕනේ නෑ ගායකයෙක් වෙන්න. මම සින්දු කියන්නේ මගේ සතුටට සැනසිල්ලට මිසක් සල්ලි හම්බ කරන්නවත් ප්‍රසිද්ධ වෙන්නවත් නෙවෙයි. උඹ ඒක දන්නවනේ. උඹ මගේ සින්දු produce කරාට ඒකට මගේ කිසිස්ම කැමැත්තක් තිබුනේ නෑ."
"ඉතින් දැන් ඒකෙන් උඹට පාඩුවක් වෙලා තියෙනවද? යකෝ හැකියාවෙන් වැඩක් ගන්න ඉගෙන ගනින්. මේ මිනිස්සු මෙච්චර ලියුම් එවල තියෙන්නේ උඹේ සින්දු හොද නිසානේ."
"මගේ හැකියාවෙන් මම වැඩක් ගන්නවා. මට සතුටක් ලැබෙනවා සංගීතේ නිසා. ඊට වඩා එහා දෙයක් මට ඕනේ නෑ. උඹ මගේ සින්දු වලින් වැඩක් ගත්තට මට කමක් නෑ."
"මෙච්චර මේ කෙල්ලෝ ලියුම් එවනවා. උඹට ඒක වත් වටින්නේ නැද්ද?"
"බයිලා නොකිය ඉඳින් සහන්" නිෂිත පැවසුවේ යලි දෙනෙත් පියගනිමිනි.
"උඹ නම් මහ පුදුම ගෝතයෙක් තමයි." කෝපයෙන් පැවසු සහන් ලියුම් මිටිය නිෂිත වෙත විසි කර යන්නට ගියේය.
නමුත් එය නොතැකූ ඔහු යලි ගිටාරයේ තත් පිරිමදින්නට වුයේ අරමුණකින් තොරවය. මද වෙලාවක් ගත වෙද්දී ඉබේටම ගීතයකට ඔබින අලංකාර තනුවක් නිර්මාණය විය.
"ඒක ලස්සන මෙලඩි එකක්" තෘප්තිමත් හැගීමෙන් යුතුව ඔහු තමාටම මුමුණා ගත්තේය. "දැන් මේකට සින්දුවක් ලියන්න ඕනේ"
එම තනුව නැවත නැවත වාදනය කරමින් ඊට ගීතයක් පබඳින්නට උත්සහ කල ඔහු ගැලපෙන අදහසක් සිතට නොආ බැවින් එය අතහැර දැමීය. පසුව ගිටාරය පසෙක දැමු හෙතෙම සහන විසින් ගෙනෙන ලද ලියුම් මිටිය අතට ගත්තේය. එහි මුලින්ම තිබු ලිපියේ අත් අකුරු ලස්සන බව සිතුනු හෙයින් ඔහු එය විවර කළේය. සාමාන්යෙන් ලැබෙන ආකාරයේ ඔහුට ආදරය කරන රසිකයෙකුගේ ලිපියකැයි සිතූ නමුදු ඔහු මහත් පුදුමයට පත් කරමින් එහි තිබුනේ තනි සුදු පැහැති කඩදාසියක මුද්‍රණය කළාක් බඳු මුතුවන් අත් අකුරින් ලියා තිබු වදන් පෙළකි.
"මේ මොන බම්බුවක්ද?" යනුවෙන් සිතමින් එහි පේලියක් දෙකක් නොසැලකිල්ලෙන් කියවූවද එහි ගැඹුරු අරුතක් ඇති බව හැගුනු හෙයින් ඔහු උනන්දුවෙන් යුතුව එය කියවන්නට විය. එම පැදි පෙළ කොපමණ තරම් ඔහුගේ අවධානය දිනගත්තේද යත් ඉතිරි ලිපි සියල්ල ඔහුට අමතක විය.
"හරි ලස්සන තේරුමක් තියෙන සින්දුවක්නේ. කවුද මේක එවල තියෙන්නේ?" ඔහු ලිපිකවරය හොඳින් පරික්ෂා කළද එහි කිසිදු විස්තරයක් එවූ තැනැත්තා හෝ තැනැත්තිය පිලිබඳ සඳහන් වී නොතිබිණි.
යලි පැදි පෙළ කියවා බැලූ ඔහුට ස්වල්ප වෙලාවකට පෙර තමා විසින් නිර්මාණය කල තනුව මතක් වූ හෙයින් වහා ගිටාරය අතට ගත හෙතෙම එය වාදනය කරමින් ඒ තනුවට අනුව පැදිපෙළ කියවා බැලී ය. ඔහුගේ මහත් පුදුමයට හේතු වෙමින් එම පැදිපෙළ එම තනුවට හරියටම ගැලපිණි. හේ මහත් සතුටින් යුතුව එය යළි ගායනා කළේය.
ඔහුගේ කටහඬ ඇසීමෙන් සහන් මෙන්ම අනිත් මිතුරා වූ ඉසුරුද දිව ආහ.
"අම්මප නිෂිත එල සින්දුව මචන්. උඹ ඒක හැදුවේ දැන්ද?"
"කොහෙන්ද බන් අර ලස්සන වචන ටික ඔලුවට ආවෙ?"
"ඇයි උඹට විතරද ලස්සන අදහස් තියෙන්නේ?" නිෂිත විමසුවේ වෙනදට ඔහුගේ තනු වලට ගීත නිර්මාණය කරන්නේ ඉසුරු වූ බැවිනි.
"නෑ එහෙම දෙයක් හින්ද නෙවෙයි මං ඇහුවේ. ඒ වචන ටික නම් උඹේ වෙන්න බැරි නිසා."
“"උඹ හරියටම හරි." කඩදාසිය ඉසුරු අතට දෙමින් නිෂිත කීය. "උදේ සහන් ගෙනාපු ලියුම් මිටියේ ඕක තිබුණේ"
"මේක මාර තේරුමක් තියෙන සින්දුවක්" එය කියවා නැවත නිශිතටම දෙමින් ඉසුරු කීය. "ඒකට උඹ හදල තියෙන මෙලඩි එකත් පට්ට ලස්සනයි."
"මෙලඩි එක නම් අහම්බෙන් ඔලුවට ආපු එකක්. පස්සේ තමයි ලියුම දැක්කේ. නිකමට වගේ අර මෙලඩි එක දාල බැලුව. ඒක හරි ගිය එක තමයි පුදුමෙ."
"කවුද බන් මේ වගේ එකක් එවන්න තරම් මොලයක් නැති එකා."
"ඒකම තමයි මටත් දැනගන්න ඕනේ."
"ඒකනේ බන්. සින්දුවක් ලියල සල්ලි හොයන කාලෙක ගෙදරටම සින්දු එවන්න තරම් ඌ මාර ගෝතයෙක්නේ.”
"අනිත්තෙක මෙච්චර ලස්සන එකක්"
"අනේ ඔන්නොහෙ මොකා එව්වත් කමක් නෑ කියල අපි මේකත් produce කරමු බන්. ගති සින්දුව."
"උඹට පිස්සුද? අනුන්ගේ අදහස් හොරෙන් ගත්ත කියල අපිට නඩු දායි මේක එවපු එකා"
"එහෙනම් ඉතින් මොන බම්බුවකටද මේක එවල තියෙන්නේ?"
"ඒක ඉතින් එවපු එකාගෙන්ම තමයි අහන්න ඕනේ."
"මම නම් කියන්නේ කවුරුහරි පිස්සු කෙල්ලෙක් තමයි මේක එවන්න ඇත්තේ. මොකා එව්වත් ඒ සින්දුව ලස්සනයි. එවපු එකා සමහරවිට ඕක එවන්න ඇත්තේ උඹට කියල ප්‍රසිද්ධ කරවගන්න වෙන්නැති. අපි ඕක හදමු මචන්." සහන් නොඉවසිල්ලෙන් කීය.
"මම කොහොමත් ඒ සින්දුව හදනවා" මිතුරන් දෙදෙනාගේ අදහස් අසමින් නිහඬව සිටි නිෂිත කීය. "හැබැයි ඒ ප්‍රසිද්ධ වෙන්නවත් වෙන හේතුවක් නිසාවත් නෙවෙයි ඒක මගේ හිතට වැදුණු සින්දුවක් නිසා."
කෙසේ නමුදු ඒ ගීතය ජනප්‍රිය වුයේ නොසිතූ විරූ ජනප්‍රියත්වයක් සහ ප්‍රසිද්ධියක් නිෂිත හට ලබා දෙමිනි.
මේ පිළිබඳව වැඩියෙන්ම සතුටට පත් වුයේ කුශී ය. සතුටටත් වඩා ඇයට ඇති වුයේ විස්මයකි. කිසිදු අරමුණකින් තොරව ඇය විසින් රචනා කළ පැදිපෙළ ඇය ඔහු වෙත යැවුවේ මන්දැයි ඇය නොදැන සිටි නමුත් ඔහු විසින් එය අලංකාර ගීතයක් බවට පත් කර තිබිණි. ජනප්‍රිය ගායකයෙක් තමා ලියු ගීතයක් ගායනා කරන විට ඇයට ඇති වූ ප්‍රහර්ෂය වදනින් විස්තර කළ නොහැකි තරම් විය. ඇගේ සතුට බෙදා ගැනීමට කිසිවෙක් නොසිටි හෙයින් ඇය ඒ බව දිනපොතේ ලියා තැබුවාය.
"මම හිතුවේ නෑ මම වගේ සාමාන්‍ය කෙල්ලක් ලියපු දෙයක් ඔයා වගේ ප්‍රසිද්ධ කෙනෙක් පිළිගනී කියල. මම ඒක ඔයාට එව්වේ ඇයි කියන්න මම දන්නේ නෑ. ඔයා ගැන මගේ හිතේ තියෙන අමුතු හැගීම වෙන්නැති ඒකට හේතුව. කොහොම උනත් ඒ සින්දුවට මෙච්චර වටිනාකමක් දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි නිෂිත අයියේ."
මේ සතුට තවත් ගීයක් ඔහුට යවන්නට ඇය පෙළඹවීය.
*************************************************************************************************************
ගීතයක් සේ - දෙවන කොටස
පෙර නිර්මාණය කළ ගීතය සිතුවාටත් වැඩි සාර්ථකත්වයක් ලද නිසා නිෂිත සිටියේ මහත් සතුටිනි. එම ගීතය ලියු තැනැත්තා හෝ තැනැත්තිය ඒ බව දැන සිටිය යුතු යයි ඔහු සිතූ අතර ඔහු සිටියේ එවූ පුද්ගලයාගෙන් කිසියම් තොරතුරක් බලාපොරොත්තුවෙනි. එම නිසා ඔහු වෙනදා මෙන් නොව උදෑසන තැපෑල කෙරෙහි මහත් උනන්දුවෙන් හා සැලකිල්ලෙන් පසු විය. ඔහුගේ බලාපොරොත්තුව සපල කරමින් මුතුවන් අකුරින් ඔහුගේ ලිපිනය ලියු තවත් ලිපියක් ඔහුට ලැබිණි.
පෙර ගීතය පිළිබඳ කිසිදු අදහසක් පල නොකර තිබු ඒ ලිපියේද වුයේ එවූ තැනැත්තා පිලිබඳ නම වත් සඳහන් නොවූ අරුත්බර පැදිපෙළක් පමණි.
නමුත් පුදුමය වුයේ ඔහුට ඒ ගීතය දුටු විගස ඊට යෙදිය යුතු තනුව කිසිදු අපහසුවකින් තොරව නිර්මාණය වීමයි.
"මේක නම් හරි පුදුමයි. මේවා එවන කෙනා මන් ගැන මම හිතන විදිය ගැන හොඳට දන්නා කෙනෙක් කියල මට හිතෙනවා." ඔහු සිතීය.
දෙවැනි ගීතයද පෙර ලෙසම ජනප්‍රිය වූ අතර කුශී මහත් සතුටින් යුතුව තවත් ගීත ඔහු වෙත එව්වාය. එවන්නේ කවුදැයි නොදැන සිටි නමුත් නිෂිත ඒ සෑම ගීතයක්ම අලංකාර තනුවක් යොදා රසවත් කළේය. රසිකයන් අතරට ගෙන ගියේය. යුගයේ ජනප්‍රියම ගායන ශිල්පියා ඔහු විය. ඒ පිළිබඳව මහත් සතුටින් පසු වුයේ කුශී ය.
"නිෂ්....ඕක නම් හරියන සෙල්ලමක් නෙවෙයි මචන්..." ඉසුරු අනතුරු ඇගවීය. "මේවා එවන එකා මොන අරමුණකින් එවනවද කවුද දන්නේ? පත්තරේ වැටෙයි ප්‍රසිද්ධ ගායන ශිල්පියෙකු අනුන්ගේ අදහස් වංචාකාරී ලෙස සොරා ගනී කියල..."
"මට තරහකාරයෝ නෑනේ ඉතින්"
"ප්‍රසිද්ධ වෙනකොට තරහකාරයෝ ඉබේම ඇති වෙනවා."
"ඉතින් බන් දැන් අපි සින්දු කීයක් කරා ද? ප්‍රශ්නයක් ඇතිවෙනවානම් මෙලහකට ඒක වෙන්න එපැයි. එවන එකා එවන්නයි මූ ඒවා කියන්නයි අරගෙන දැන් සෑහෙන කාලයක් වෙනවනේ."
"හරියටම අවුරුද්දක් වෙනවා." නිෂිත කීය. "ප්‍රශ්නයක් අවොත් මුණදෙන්න ලෑස්ති වෙලයි මන් සින්දු out කළේ. මේවා ලියන්නේ ලස්සන අදහස් තියෙන අහිංසක කෙල්ලෙක් කියල මට විශ්වාසයි"
"අම්මටසිරි බලපන්කො මුගේ කතාව. ඇයි උඹ ෂර්ලොක් හෝම්ස් ද අත් අකුරු බලල ලියපු එකා ගැන විස්තර කියන්න?"
"සමහරවිට හීනෙන් පේනවා ඇති ලියපු එකීව"
"මේ අකුරු වලින් කියන්න පුළුවන් කෙල්ලෙක් ලියපු බව. මට එයාගේ වයස නම් කියන්න බෑ ෂර්ලොක් හෝම්ස්ට වගේ"
"ඉතින් කොල්ලෙක් ලියල ලස්සනට ලියල දෙන්න කියලා කෙල්ලෙක්ට දුන්න වෙන්න බැරිද?" ඉසුරු ප්‍රශ්නයක් නැගීය.
"අපි අදුනන එකෙක් ද දන්නෙත් නෑ" සහන කීය.
"අඳුනන එවුන් කවදාවත් මේ වගේ පරාර්ථකාමී වැඩ කරන්නේ නෑ සින්දුව ලියල දීල ගාණ කඩාගන්නවා මිසක්" ඉසුරු කිවේය.
"අපි බලමුකෝ මට කවදාහරි දැනගන්න ලැබෙයි"
සැබවින්ම ඔහුට එය දැනගන්නට ලැබිණි. තමන් ලියු ගීත සඳහා වටිනාකමක් ලබාදුන් ඔහු පිළිබඳව කුශී තුල වුයේ ඉමහත් ගෞරවයකි. එම ගීත එවන තැනැත්තා පිලිබඳ හරි හැටි කිසිදු විස්තරයක් නොදන්නා නමුත් ඔහු එම ගීත පිළිගැනීමම ඇයට මහඟු දෙයකි. නමුත් එවන තැනැත්තා හඳුනා ගැනීමටද ඔහු කැමැත්තෙන් පසුවන බවටද ඇයට සැකයක් නොවිණි. ඇය ඔහුට ලිපියක් ලියන්නට සිතුවේ එහෙයිනි.
සැමදිනම නාදුනන ගීත රචිකාවියගෙන් (තමාට ගීත එවන්නේ යුවතියක බවට දැඩි ව්ශ්වසයක් නිෂිත තුල තිබිණි) ලිපියක් ලැබේ යයි බලාපොරොත්තුව සිටි ඔහුට අවසානයේදී එය ලැබිණි.
නිෂිත අයියා වෙත,
මේ ලිපිය කියවීමෙන් අයියට මම ගැන ඇති සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ලැබේ යයි සිතමි. මන් ගැන හරියටම දන්නේ නැති උනත් මන් එවපු සින්දු පිලිගත්තට ඒවාට වටිනාකමක් දුන්නට අයියට ගොඩක් ස්තුති. මන් ඒ ලියන ඒවා අයියටම එවන්න හිතුවේ ඇයි කියල මම දන්නේ නෑ. අයියව දැකපු මුල්ම වෙලාවේ ඉඳල හරි පුරුදු බවක් මට දැනුන. අයියට එවපු පලවෙනි ගීතය මා අතින් ලියවුනේ ඒ හින්දමයි. පිස්සු කෙල්ලෙක් කියන මෝඩ කතා කියල මම කියන ඒවා අමතක කරන්න. මට ඕනේ වුනේ මන් ගැන අයියගේ හිතේ ඇති කියල හිතන ප්‍රශ්න වලට උත්තර දෙන්න විතරයි. අයියා ප්‍රසිද්ධ කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් මන් වගේ සාමාන්‍ය කෙල්ලෙක් ලියපු සින්දු වලට ලොකු වටිනාකමක් දුන්නු එකම මට හීනයක් වගේ. මට ඒකම ඇති. මම කවදාවත් මගේ සින්දු වල අයිතිය ඉල්ලන්නේ නෑ. අයිය ඒ සින්දු කියනවා අහල මන් සතුටු වෙනවා හුඟක්. අයිය මගේ ජීවිතේට විශේෂ කෙනෙක්. ඒ ගැන තේරුම් කරවන්න නම් මට දන්නේ නෑ. මම අයියට ඒ සින්දු එවන්නේ ඒ සින්දු වල සම්පුර්ණ අයිතියත් එක්කයි. ඒ ගැන විශ්වාස කරන්න. අයියට සුභ අනාගතයක්.
මෙයට,
කුශී .
"මන් ඔයාව විශ්වාස කරනවා කුශී" එක හුස්මට ලිපිය කියවගෙන ගිය නිෂිත සිතීය. "හරි නම් මන් ඔයාට ලක්ෂ ගානක් ණයයි"
තමාට මෙපමණ ජනප්‍රියත්වයක් ලබාදුන් ඒ යුවතිය හඳුනාගන්නට ඇත්නම් කොපමණ අගනේදැයි ඔහු සිතීය. නමුත් අවම වශයෙන් ඇගේ නම දැනගන්නට ලැබීමද මහගු දෙයකි. බොරු නමක් වන්නටද හැක. නමුත් ඇය ඒ නමින් හඳුන්වන්නට හැකි වීමද අගනේය. ඒත් එලෙස හඳුන්වන්නට ඇය මුණ ගැසිය යුතුය. එය කවදා ඉටු වේද?
ඔහු ගීතයක් ලිවීය. නාදුනන නොදුටු ඇයට ස්තුති කරන්නට ඔහුට තිබූ එකම මාර්ගය එය විය. මාධ්‍ය වලින් ඒ ගීතය පිලිබඳ ඔහුගෙන් විමසු අවස්ථාවක ඔහු පිළිතුරු දුන්නේ මෙලෙසය.
"ඒ ගීතය කෙනෙක්ට ස්තුති කරන්නයි ලිව්වේ. අදාල තැනැත්තිය දන්නවා එය ඇයට කියලා"
සැබෑය. ඒ ගීතය තමාට බව කුශී හොඳින් දැන සිටියාය. ඇය ඒ ගීතය ඇසුවේ නෙතග රැඳි කඳුලින් යුතුවය.
"ඔයා නම් හරිම හොඳ කෙනෙක් නිෂිත අයියේ. හරිම හොඳ කෙනෙක්" ඇය සිතුවාය.
************************************************************************************************************
මේ අතර කුශීගේ වැඩිමහල් සොහොයුරාගේ විවාහ උත්සවය යෙදී තිබිණි. ඔහු විවාහ වීමට සිටි යුවතිය වූ සඳනි කුඩා කල සිට නිෂිත සහ සහන්ගේ මිතුරියක වූ හෙයින් විවාහ උත්සවය සඳහා මිතුරන් තිදෙනා ද ආරාධනා ලැබුහ.
"අනේ අම්මප මේ කොළඹ කෙල්ලෙක් වෙච්ච සඳනි කොහොමද නුවර කාක්කෙක් හොයාගත්තේ?" ආරාධනා පත් දෙන්නට ගිය මොහොතේ සහන් විමසුවේ විහිලුවටය.
"මගේ කොල්ලට කාක්කා කියන්න එන්නෙපා තේරුනාද?"
"මේ මු කියන පිස්සු කතා ගණන් ගන්නෙපා සඳනි" ඒ ඉසුරු ය.
"මම දන්නවා වයර් මාරු වෙලා කියල. ඒක නෙවෙයි. නිෂිත එනවා නේද වෙඩින් එකට. දැන් ලොකු මිනිස්සු නිසා අපිව අමතක වෙලාද දන්නේ නෑ."
"අනේ එහෙම නෑ සඳනි. මම තාමත් මමම තමයි ඉස්සර හිටපු. අපි අනිවරෙන්ම එනවා."
*************************************************************************************************************
විවාහ උත්සවයට නිෂිත පැමිණ සිටි බව දුටු කුශී මහත් සේ කලබලයට පත් වුවාය. මේ ඇය හැබැහින් නිෂිත දකින පළමු අවස්ථාව විය.
"සඳනි අක්කේ, නිෂිත අයිය කොහොමද ආවේ අද?"
"ඇයි පුදුමද? නිෂිතයි එයාගේ යාලුවෝ දෙන්නයි පොඩි කාලේ ඉඳන් මගේ යාලුවෝ. මන් දන්නවනේ ඔයා ආසයි කියල නිශිතගේ සින්දු වලට. ඔයාව පුදුම කරවන්නම ඕනේ නිසයි මම කලින් කිව්වේ නැත්තේ එයාල එනවා කියල. ඉන්නකෝ. ෆොටෝ ගහල ඉවර වෙච්ච ගමන් මම අඳුන්නල දෙන්නම්."
නමුත් හඳුනාගැනීමට තබා ඒ අසලකටවත් යන්නට කුශී බිය වුවාය. ඔහුට ගීත එව්වේ තමා බව ඔහු දනී නම්?
"මචන් ලස්සන කෙල්ලෙක් බය වෙලාද පුදුම වෙලාද මන්ද අපි දිහා බලන් ඉන්නවා" ප්‍රථමයෙන් ඇය නෙත ගැටුනේ සහන්ට ය.
"කෝ ... කවුද?"
"අර දෙවෙනි මනමාලිට ඇඳල ඉන්න කෙල්ල"
"උඹටත් විකාර. ඒකි බලන් ඉන්නේ අපි දිහා නෙවෙයි මු දිහා" ඉසුරු කීවේ නිෂිත ව දක්වමිනි.
"මු නම් මහා පුදුම බුරුවෙක්." සහන් බැන වැදුනේය. "කෙල්ලෙක් බැලුවත් මු නෙවෙයි ඇහැක් ඇරලා බලන්නේ. ඇයි ඉතින් ගිටාර් එකක්නේ කසාද බඳින්න හිතන් ඉන්නේ."
මිතුරන්ගේ කතා වලට සිනාසෙමින් සිටියා මිස නිෂිත කිසිත් නොපැවසී ය. දෙවැනි මනාලිය ලෙස සැරසී හුන් යුවතිය මනාලියටද වඩා රූමත් යයි පසුව මිතුරන්ට රහසේ ඇය දෙස බැලූ ඔහුට සිතිණි. ඒ සමගම කුමක් දෝ නුහුරු හැගුමක් ඔහුට දැනිණි. ඒ ඇය බොහෝ රූමත් නිසා ද?
ඔහුට ඇය හඳුනාගැනීමට ඊට සුළු මොහොතකට පසු අවස්ථාව ලැබුනේ සඳනි ඇය කැටුව ඔවුන් සිටි ස්ථානයට පැමිණි බැවිනි. කුශී ඇයත් සමග පැමිණියේ මරන්නට ගෙන යන හරකෙකු ඇදගෙන යන්නාක් බඳුව ය. බැරිවෙලාවත් සඳනි අක්කා ඇගේ නම ඔවුන්ට පැවසුවොත්? නමුත් කුශී යනුවෙන් මේ ලෝකයේ සිටින්නේ තමා පමණ ද? තමා හඳුනාගැන්මට ඔහුට කිසිදු හැකියාවක් නැත. එසේ නම් මේ තරම් බියක් දැනෙන්නේ මන් ද?
"හලෝ නිෂිත ආවට සතුටුයි ගොඩක්. අඳුනගන්න මේ නාදි. මගේ එකම නෑනා. මෙයා හරිම කැමතියි ඔයාගේ සින්දු වලට." සඳනි එසේ කියමින්ම මිතුරන්ට කුශී හඳුන්වා දුන්නාය. සැමවිටම වෙනස් දෙයක් ප්‍රිය කල සඳනි කුශී ඇමතුවේ ඇගේ දෙවෙනි නම වූ නාදියා යන්න කෙටි කර නාදි ලෙස ය. එය මේ වෙලාවේ කුශීගෙ මහත් සහනයට හේතු විය.
ඉසුරුට සහ සහන්ට සුරත දී ආචාර කළ ඇය පැකිලීමෙන් යුතුව නිශිතට සුරත දිගු කළා ය. ඔහු ඇගේ දෑස් දෙසම බලාගෙන ඇයගේ සුරත අල්ලා ගනිද්දී විදුලි සැරක් වැදුනාක් බඳු කම්පනයක් ඇයට දැනිණි. ඇගේ දෙතොල් පවා සැලෙන්නට විය.
"මොකද බය වෙලා වගේ?" නිෂිත විමසුවේ මිතුරන්ගේ අවධානය ඔවුන් කෙරෙහි නොවන බව වටහාගෙනය.
"නෑ නෑ මුකුත් නෑ" රත් පැහැයට හැරෙමින් ඇය සෙමෙන් පැවසුවාය.
මොනතරම් අහිංසක කෙල්ලෙක්ද. ඇගේ රත්පැහැ ගැන්වුණු වූවන දෙස බලමින් ඔහු සිති ය.
ඔවුනතර හුවමාරු වූ කතාබහ එපමණකි. බොරුවක් කියා ඔවුන් වෙතින් මෑත්ව ආ කුශී ඉන්පසු ඔවුන් සිටි අහලකටවත් නොගියාය.
"නාදී මොකද ළමයෝ ඔයාට වෙලා තියෙන්නේ? නිශිතව මම මේ මෙච්චර උවමනාවෙන් එක්ක ආවේ ඔයා හින්දමයි. මන් දන්නවා ඔයා එයාගේ සින්දු වලට කොච්චර කැමතිද කියල. ඉතින් ඇයි ඔයා එයාව මග අරින්නේ? ආටිස්ට් කෙනෙක් උනාට ඒකා හොඳ කොල්ලෙක්. කිසිම ආඩම්බරයක් නෑ" සඳනි නොරිස්සුමින් කීවාය.
නමුත් ඔහු මගහැර සිටීමට තමාගේම හේතුවක් ඇයට තිබිණි.
"අනේ මට බෑ අක්කා"
"මැට්ටි ගෙයි ගෙම්බියක්ම තමයි"
කුශීගේ සෑම ඉරියව්වක්ම සියුම් ලෙස නිරීක්ෂණය කරමින් සිටි නිශිතට ඇය උවමනාවෙන්ම තමා මගහරින බව වැටහිණි.
"ඇයි එයා මාව මගාරින්නේ? අහිංසක කෙල්ලෙක්. සමහරවිට එයා බය ඇති මාත් එක්ක කතා කරන්න" ඔහු සිතුවේ කණගාටුවෙනි.
දුර සිට වුව ද ඇය දෙස බලාසිටිද්දී සිතට සතුටක් බඳු හැගුමක් දැනෙන බව ඔහු අත්වින්දේය.
*************************************************************************************************************
විවාහ උත්සවයෙන් සය මසකට පමණ පසු නිශිතට අහම්බෙන් මෙන් කුශී මුණගැසිණ. නුවර පැවති ප්‍රසංගයකට සහභාගී වීමට ඔහුට ආරාධනාවක් ලැබිණි. ඔහු ඒ ආරාධනය සතුටින් පිළිගත්තේ හේතුවක් ඇතුවය. ඒ නාදියා මුණගැසීමේ බලාපොරොත්තුවෙනි. මිතුරන්ට වුව නොපැවසුව ද නාදී ලෙස හඳුනාගත් ඒ යුවතිය ඔහුට නිතර සිහිපත් විය. එය කුමන හැඟීමක් දැයි ඔහු දැන නොසිටි නමුත් ඇය මුණගැසීම අත්‍යවශ්‍ය බවට හදවත ඔහුට බල කළේය. ඔහු ප්‍රසංගය සඳහා වූ ආරාධනය පිළිගත්තේ මේ අදහස පෙරදැරිවය.
නුවර වැව ආසන්නයේ පිහිටි "සිහිල් සෙවන" අවන්හල කුශීගේ ප්‍රියතම ස්ථානයක් විය. සවස දේශන නිමවී නිවසට ඒමට පෙර මෙම අවන්හලට ගොඩවී බීම වීදුරුවක් තොල ගාමින් පැයක් පමණ ගතකිරීම ඇගේ සිරිත විය.
මෙදිනද සවස ඇය අවන්හලට ගොඩ වුයේ සුපුරුදු පරිදි කල්පනා සයුරේ ගිලෙන්නටය. හිඳ සිටි අසුනට මැනවින් පෙනෙන නුවර වැවේ දර්ශනීය වටපිටාව සුන්දරත්වය විඳිමින් ඇය දොඩම් යුෂ වීදුරුවක් පානය කරමින් සිටියාය. ඇයට නිෂිත සිහිපත් විණි. එදා සොයුරාගේ විවාහෝත්සවයෙන් පසුව තමා ඔහුට නිසැකවම ආදරය කරන බව ඇය වටහාගත්තිය. නමුත් එය පල නොදරන අදහසකි. ප්‍රසිද්ධ ගයන ශිල්පියෙකුට ආදරය කිරීමට තමාට සුදුසුකමක් නැත. ඇය සිතුවාය. නමුත් ඔහු අමතක කිරීමට නම් සිත සුදානම් නැති බව ඇය තේරුම් ගෙන සිටියාය.
ප්‍රසංගය සඳහා සහභාගී වීමට නුවරට පැමිණි නිෂිත ඒ අවන්හල ට පැමිණියේ එය සුන්දර ස්ථානයක් බව දැනසිටි හෙයිනි. නුවරට පැමිණි සෑම අවස්ථාවකම මෙම අවන්හලට ගොඩවදීමට ඔහුත් මිතුරෝත් පුරුද්දක් කරගෙන සිටියහ.
අයිස් කෝපි වීදුරුවක් ඇනවුම් කර වටපිට බැලූ ඔහුට සුපුරුදු රුවක් දක්නට ලැබිණි. තමා මෙපමණ දුරක් පැමිණියේ මේ රුව දකින්නට පතමිනි. නුවරට ළගා වූ විටම ප්‍රථමයෙන්ම ඇයම මුණගැසීමට තරම් තමා වාසනාවන්ත වී ඇත.
පැමිණි තැනැත්තා හඳුනාගත් සේවකයෝ කඩිනමින් ඔහුට මේසයක් පිළියෙළ කර දෙන්නට සුදානම් වුවද එය ප්‍රතික්ෂේප කළ ඔහු "අර මිස් ඉන්න මේසෙට කෝපි එක එවන්න" කියමින් ඇය සිටි ඉසව්වට පියමං කළේය.
සැන්දෑ කළුවර වැටී තිබුණු හෙයින් අවන්හලේ සිටියේද සුළු පිරිසකි.
"හලෝ නාදී කොහොමද?" ඔහුගේ හඬින් තිගැස්සුණු ඇය අසුනින් නැගිට්ටේ මවිතයෙන් දෑස දල්වා ගනිමිනි.
"නිෂිත අයියා ? ඔයා? මේ වෙලාවේ? " ඇයට පවසාගත හැකි වුයේ එපමණකි. තමා මෙතෙක් වෙලා සිතමින් සිටියේ ඔහු ගැනය. දැන් ඔහු ජීවමානව ඇය ඉදිරියේ සිටී. තමන් සිහිනයක් දකිනවාද?
"ඇයි මේ වෙලාවේ නුවර එන්න මට තහනම්ද?"
"නෑ .. එහෙම දෙයක් නෑ " ඇය ලැජ්ජාවෙන් පැවසුවාය.
"එහෙනම් කොහොම දෙයක්ද? ඇයි නාදී බය වෙලා වගේ? මමත් ඔයා වගේ සාමාන්‍ය මනුස්සයෙක්" ඔහු කීවේ එදා උත්සවය දා මෙන්ම දැනුදු ඇය බියවී සිටින බව හැඟී ගිය හෙයිනි.
"මමත් මෙතනින් වාඩි වුනාට කමක් නෑනේ ?" ඇයගෙන් ඇසුවද ඇය පිළිතුරක් දීමටද මත්තෙන් ඔහු පුටුවක් ඇදගෙන අසුන් ගත්තේය.
"ඉදගන්නකෝ ඉතින්. ඔයා හරියට හොල්මනක් දැක්ක වගේ බයවෙලා"
නිශිතට තමා ගැනම පුදුමයක් දැනෙමින් තිබිණි. නාදුනන යුවතියක සමග මෙලෙස කතා බහ කරන පළමු අවස්ථාව මෙය විය. ඇය පිලිබඳ වතගොත ඔහු නොදත්තේ වුව ද හදවතට නම් ඇය ආගන්තුක නොවන බව ඔහු දැන් වටහගත්තේය.
සිහි එළවාගත් ඇය සෙමෙන් අසුන් ගත්තා ය. ලැජ්ජාව නිසාදෝ බිය නිසාදෝ රත් පැහැ ගැන්වී තිබු ඇගේ සියුමැලි දෙකොපුල් සිපගන්නට තරම් ඔහුට සිතින.
"මාත් එක්ක කතා කරන්න දෙයක් නැද්ද?" ඔහු විමසුවේ මද වෙලාවක් ගතවූ පසුය. කියන්නේ මොනවාදැයි සිතමින් ඇය ලතවෙද්දී සේවකයෙකු පැමිණ ඔහුගේ ඇනවුම ගෙනවිත් තැබීය.
"ඔයා අකමැති නම් මම මෙතනින් යන්නම්" සේවකයා ගිය පසු නිෂිත යලි කීය.
ඇය කලබල වී ඔහුගේ අතින් අල්ලගත්තිය. "නෑ නෑ අයිය ඔහොම ඉන්න"
ඔහු වහා ඇය දෙසත් තම සුරත මත තැබුණු ඇගේ සුරත දෙසත් බැලී ය. යලි ලැජ්ජාවෙන් රතු වූ ඈ වහා ඔහු අත හැරියා ය.
"සොරි අයියා" සිහින් හඬින් ඇය කිවාය.
"ඒකට කමක් නෑ" තමා සිතුවේ ඇගේ සුරත සදාකල්ම තමාට ලැබේනම් යනුවෙන් බව ඇය දනී නම් සමාව නොඉල්ලන බව ඔහු සිතිය.
"මෙච්චර හවස් වෙලත් ඇයි ගෙදර යන්නේ නැත්තේ?" ඔහු කතාව වෙනතක හැරවිය.
"හැමදාම හවසට මේ වෙලාවට මම මෙතනට එනවා. පුරුද්දකට වගේ. මෙතන හරි නිදහස්"
ඔව් ඒක ඇත්ත. හරි නිසංසල තැනක්"
"අයිය ඔයාට ප්‍රශ්නයක් වෙයිද මෙතන හිටියොත්?"
"මට නෙමේ ඔයාට ප්‍රශ්නයක් වෙයිද කියල මම අහන්න හැදුවේ"
"නෑ මේ මම කිව්වේ ඔයා..."
"ආටිස්ට් කෙනෙක් නිසා" ඇය කියාගෙන ආ දෙය ඔහු සම්පුර්ණ කළේය. "මම ප්‍රසිද්ධිය ඔලුවේ තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි නාදී. අනිත්තෙක මට ලැබිල තියෙන දේවලුත් මට අයිති නෑ කියලයි මට හිතෙන්නේ"
"ඇයි එහෙම කියන්නේ?" ඔහු පැවසු දෙයෙහි අරුත වඩාත් හොඳින් වැටහුනා මුත් ඇය විමසුවේ වෙනත් කරන්නට දෙයක් නොවූ බැවිනි.
"නංගි" ඔහු කෝපි උගුරක් බී කතාව ඇරඹීය. "ඔයා පිළිගනීද මන්ද මම කියන කතාව. ඒ මම කියපු සින්දු ප්‍රසිද්ධ වුනේ ඒවල ලස්සන තේරුමක් ඒ වගේම ලස්සන වචන නිසා කියල ඔයත් දන්නවා ඇති. ඒත් ඒ එකක් වත් මගේ අදහස් නෙමේ. මමවත් නොදන්නා වෙන කෙනෙකුගේ" කුශී හොඳින් දැන සිටි ඒ සිදුවීම ඔහු ඇයටම පවසන්නට විය. එය අසා සිටියදී ඇයට අපහසුවක් දැනිණි. ඔහුගේ පෞද්ගලික ජිවිතයට අදාළ දෙයක් තමාට පවසන්නේ මන්ද?
"ඒ සින්දු ජනප්‍රිය උනේ වචන නිසාම නෙවෙයි ඔයාගේ මෙලඩි ලස්සනයි. කටහඬත් ලස්සනයි"
"මට එයාව හොයාගන්න පුළුවන් උනොත් මම කැමති එයාට ස්තුති කරන්න. මේ ප්‍රසිද්ධිය මට ලැබුණේ එයා නිසා කියල මම දන්නවා."
"ඒ උනාට ඔයා එයාට ස්තුති කලානේ" සිතිවිල්ලේ හුන් ඇයට කියවිණි.
*************************************************************************************************************
ගීතයක් සේ- තුන්වන කොටස ( අවසාන කොටස )
නිෂිත තිගැස්සී මෙන් ඇය දෙස බැලීය. "ඔයා කොහොමද ඒක දන්නේ?"
දැන් කියන්නේ මොනවද? නමුත් ඇයට පිළිතුරක් තිබිණි.
"තුති පුදනෙමි ඔබට කියන සින්දුව අයිය ලිව්වේ එයාට කියල මම හිතනවා"
ඔහු සුසුමක් හෙලමින් ලය සැහැල්ලු කරගත්තේය. "මම හිතුවේ මට හැමදාම සින්දු එවන කෙනාට විතරයි ඒ සින්දුවේ තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇත්තේ කියල"
ඔහු තවත් වෙහෙස නොකරමින් ඒ ගීත ලියුවේ තම බව පවසන්නට ඇයට අවැසි විය. නමුත් ඔහු එය පිළිගනීද ?තමා ඔහුට වෙනත් කිසිවෙකුට වඩා ආදරය කරන බව සැබෑය. නමුත් ඒ යුවතියගේ පුදුම සහගත ක්‍රියාව ඔහුම තමාට පවසා ඇති බැවින් ඒ යුවතිය තමා බව පැවසුවොත් එය වෙනත් අරමුණකට බව ඔහු සිතන්නට පුළුවන.
"කුශී කියන්නේ මම කියල ඔයාට කියන්න මට හිතුනත් ඒක කියන්න බෑ. ඔයාගේ හිත දිනාගන්න මම ඒක කරනවා කියල ඔයා හිතයි. ඒ මම කියල ඔයාට ඔප්පු කරන්න මට විදිහක් නෑ" ඇය සිතුවාය.
"අයියට නැද්ද විශේෂ කෙනෙක්?" ඇය කතාව වෙනතක හැරවුවාය.
"ඔයා අහන්නේ ආදරය කෙනෙක් ගැන. එයා මගේ ඇස් ඉස්සරහම ඉන්නවා." යයි පවසන්නට සිතුනත් " මට සින්දු එවන ගර්ල් මට විශේෂයි" ඔහු කීය.
"ඔයා කොහොමද ඒ ගර්ල් කෙනෙක්ම කියල කියන්නේ?" ඇය විමසුවේ බියෙනි. ඒ ගීත එව්වේ තමා බව ඔහු දැනටමත් දනීද?
"මට විශ්වාසයි ඒ ගර්ල් කෙනෙක් කියල. ලස්සන. අහිංසක. හරියට ඔයා වගේ" ඔහු පැවසුවේ තම දෙනෙතේ ග්‍රහණයට සෘජුවම ඇය හසුකර ගනිමිනි. "ඒ ගර්ල් මට විශේෂයි. මම එයාට ගොඩක් ගරු කරනවා"
කුශී සැගවෙන්නට තැනක් සොයන්නට මෙන් වටපිට බැලුවාය. ඇගේ දෙතොල් සැලෙන්නට වුයේ බියෙනි. උඩුතොල මත රැඳී ඩා බිඳු ඇය සෙමෙන් පිසදමුවා ය.
ඇගේ මේ අසාමාන්‍ය හැසිරීම දුටු ඔහු තමා ඇයට බිය වීමට තරම් දෙයක් කීවා දැයි සිතීය.
"මට...මට ගෙදර යන්න ඕනේ " ඇය සෙමෙන් පැවසුවාය.
"මම ඔයාව අරලවන්නද?"
"නෑ නෑ ඕනේ නෑ අයිය. මට තනියෙන් යන්න පුළුවන්"
ඔහු ඇයට බල කරන්නට නොගියේය. "හොදයි එහෙනම් පරිස්සමින් යන්න"
ඔහුට සුභ රාත්‍රියක් පැතූ ඇය යන්නට ගියාය. "පුංචි කෙල්ල. මට හොදටම විශ්වාසයි මම ඔයාට ආදරේ කරනවා කියල." ඇය යන දෙස බලමින් ඔහු සිතිය.
තමා එය පැවසුවොත් ඇය පිළිගනීද? නොඑසේනම් සැගවී යයිද? සැමවිටම හේතුවක් නැතුව ඇය බියවන්නේ ඇයිදැයි ඔහුට නොවැටහිණි.
*************************************************************************************************************
නමුත් එක් අනපේක්ෂිත සිදුවීමකින් කුශිගේ සහ නිශිතගේ දිවිමග වෙනස් විණි.
දින 3ක් පුරා පැවති ප්‍රසංගය හේතුවෙන් නිදි නොමැතිව මහන්සි වීම නිසා නිෂිත සිටියේ අසනීපයෙනි. ඔහුට තදින් උණ ගැනී තිබිණ. ඔහුගේ අසනීපය ගැන බියවූ දෙමිතුරෝ වහාම ඔහු වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගියහ.
"බයවෙන්න දෙයක් නෑ. සාමාන්‍ය උණක්. රෙස්ට් කරාම හරියයි." වෛද්‍යවරයා කීවේ නිෂිත පරික්ෂා කරමිනි.
"මෙයා පහුගිය ටිකේ හරියට මහන්සි උනා ඩොක්ට" ඉසුරු කීවේ මිතුරා දෙස අනුකම්පාවෙන් බලමිනි.
"සහන් මට මේ වාහනේ ඇතුලේ ඉන්න අමාරුයි." නිෂිත අපහසුවෙන් කීවේ බෙහෙත් රැගෙන ආපසු එන අතරමග ය. "මගේ ඔලුව රිදෙනවා"
"ඉතින් මොකද බන් කරන්නේ. හෝටලේට යනකම් ඉවසල ඉදින්" සහන් කීවේ රථයේ වේගය වැඩි කරමිනි.
"මචන් මේ පාරේ නේද සඳනි ඉන්නේ" ඉසුරු හදිසියේම කීය. "අපි මෙයාව එහෙට ගෙනියමු"
"මේ හැන්දෑවේ ගෙවල් වල යන්න. උඹට පිස්සුද?"
"ඕව බල බල ඉන්න බෑ. හරවපන් වාහනේ. එහෙට ගිහිල්ල ටිකක් රෙස්ට් කරන්න දෙමු. එතකොට අඩුවේවි."
අනපේක්ෂිතව මිතුරන්ගේ පැමිණීමෙන් සඳනි සතුටු වූ අතර නිශිතට අසනීප බව ඇසීමෙන් ඇය වහා යුහුසුළුව ඔහුට සාත්තු කිරීමට ගත්තාය. නිෂිත සිටියේ සිටගෙන සිටීමට වත් නොහැකි තරම් අපහසුවෙනි. ඔහු අසල තිබු පුටුවේම අසුන් ගත්තේ දෙනෙත් පියාගත්තේය.
"ඔතන ඉඳල හරියන්නේ නෑ නිෂිත. කාමරේට ගිහින් ඇලවෙලා ඉන්න. නාදිගේ කාමරේ මේ ලගමයි තියෙන්නේ.
"මට නැගිටින්න පණ නෑ "
"එහෙම කියල කොහොමද. යමන් යමන්"
මිතුරන් දෙදෙනාගේ වාරුවෙන් කාමරයට පැමිණි නිෂිත ඇඳේ වැතිරුණේ මබෙහෙත් වේලද පානය කිරීමෙන් අනතුරුවය. සඳනි මේසය මත තිබු නාදිගේ ඔඩික්ලොන් බෝතලයෙන් ස්වල්පයක්ද ඔහුගේ හිසේ ගෑවාය.
"මේ කාමරේ අයිතිකාරයගෙන් මුට බැනුම් අහන්න වෙයිද දන්නේ නෑ එයාගේ දේවල් පාවිච්චි කරාට" සහන් කීවේ දැන් සුවසේ නිදන මිතුරා දෙස බලමිනි.
"අනේ එහෙම නෑ. නාදි හිතාගන්න බැරි තරම් හොද හරිම අහිංසක කෙල්ලෙක්"
"ගෙදර කවුරුත් නැද්ද සඳනි?" ඉසුරු විමසුවේ කිසිවෙකු පෙනෙන්නට නොසිටි නිසාය.
"නාදී ඉතින් කැම්පස් ගිහින් එනකොට හවස් වෙනවා. තව පැයකින් විතර එයි. ක්‍රිෂාන් නම් දැන් මග එනවත් ඇති. අම්මයි තාත්තයි කොරටුවේ වැඩ"
"ඉතින් සඳනි නුවර ජිවිතේ හොඳද?"
"අනේ ඔව්. මම හරිම සතුටින් ඉන්නේ. ක්‍රිෂාන්ගේ අම්මයි තාත්තයි මට සලකන්නේ එයාලගෙම දුවෙකුට වගේ. නාදිත් හරිම හොඳයි"
නිශිතට හොදින්ම නින්ද ගොස් තිබු හෙයින් ඔහුට බාධා නොකළ තිදෙනා සාලයට ගොස් කතා බහ කරමින් පසුවූහ.
*************************************************************************************************************
කාමරයේ තනි වූ නිෂිත පැය භාගයක් පමණ ඇහැරුණේය. ඒ වනවිට ඔහුගේ අසනීපය මදක් අඩු වී තිබුණි. තමා සිටින්නේ කොහේදැයි සිහිපත් කළ ඔහුට අසනීප ගතිය වැඩි නිසා මිතුරන් තමා කැටුව නාදිගේ නිවසට පැමිණි බවද තමා සිටින්නේ නාදිගේ ඇඳෙහි බවද සිහිපත් විය.
පුදුමයකි. හා හා පුරා කියා තමාගේ සිත්ගත් පුංචි රුවැත්තියගේ ඇඳෙහි නිදාගැනීමට තරම් තමා වාසනාවන්ත වී ඇත. ඔහු ඇගේ සුවද විදගන්නට මෙන් කොට්ටයට මුහුණ ඔබා ගත්තේය. ඇයට පෙම්වතෙකු නොමැති බව නම් ඔහු ඉඳුරාම විශ්වාස කළේය. නොඑසේනම් එදා අවන්හලට වී ඇය තනියම සිටියේ මන්ද? සාමාන්‍ය තරුණියන්ට වඩා ඇය වෙනස් යුවතියක බව මේ වනවිට ඔහු වටහාගෙන සිටියේය. ඇය වැනි සංවේදී යුවතියකට ආදරේ කල හැක්කේ තමාට පමණි. එදා සන්දනිගේ විවාහ උත්සවය දා දුටු මොහොතේ සිට සිත සොයමින් සිටියේ ඇය බව ඔහු වටහාගෙන සිටියේය. නමුත් තමාට පෙම් කරන තවත් යුවතියක් සිටී. ඒ ඔහුගේ නොදුටු යෙහෙළියයි.
"කුශී..මට ආදරේ කලට මන් ආදරේ කරන්නේ නාදිට. කුශී ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු ගෞරවයක්. ඒත් එයා දන්නවා මට එයාට ආදරේ කරන්න බැහැ කියල. ඒකනේ එයා මන් ඉස්සරහට එන්නේ නැත්තේ."
මෙලෙස විවිධ දේ සිතමින් සුන්දර පුංචි කාමරය සිසාරා දෙනෙත් යැවූ ඔහුට පිළිවෙලකට අසුරා තිබු ඇගේ පොත් මේසය නෙත ගැටිණි. හදිසියේ ඇති වූ පෙලබවීමක් මත ඔහු සෙමෙන් නැගිට ඒ දෙසට ගියේය. එක තට්ටුවක් වන ලෙස අසුරා තිබු පොත් ගොඩෙන් උඩින්ම තිබු පොත අතට ගත් ඔහු නිකමට මෙන් එය පෙරළීය. එහි ලියා තිබු මුතුවන් අකුරු දුටු ඔහුට තම හදවත මොහොතකට නතර වූවාක් මෙන් දැනිණි.
"මේ අකුරු මට හොඳට දැකල පුරුදුයි." ලියා තිබු සටහන මෘදුව ඇගිලි තුඩගින් ස්පර්ශ කරමින් ඔහු සිතීය. "කාගේද මේ අකුරු?"
ඔව් ඔහුට සිහියට නැගිණි. තමාට නිතර ගී ලියන ඔහු ගායන ක්ෂේත්‍රයේ දිදුලන පහන් ටැඹක් කරන්නට හේතු පාදක වූ යුවතියගේ අතකුරු මෙවැනිම නොවේද?
"මේ අත්අකුරු හරියට නාදිගේ වගේමයි. ඒ කියන්නේ කුශී විදියට මම දැනගෙන හිටියේ නාදීමද?"
සිතට දැනුණු කම්පනයෙන් යුතුව ඔහු තවත් පොතක් අතට ගත්තේය. පිටුවෙන් පිටුව එහි ලියා තිබුනේ ඔහුගේ ගීතය. වෙනත් විදියකින් කිවහොත් ඇය විසින් රචිත ගීත ය. එමෙන්ම මුතුවන් අකුරින් ඔහුගේ නම ලිපිනය ලියු ලිපි කවරයක්ද තනි සුදු පැහැ කොලයක ලියු තවත් ගීතයක්ද විය.
ඔහුට රහස හසුවිණි. එසේ නම් කුශී යනු නාදියාය. එය තේරුම් ගැනීමට මීට වඩා සාක්ෂියක් කුමටද? සිතට දැනුනු පුදුමයත් සතුටත් නිසාවෙන් ඔහුට තමා අසනීපව සිටි බවද අමතක විය. කුශී තමාට ආදරය කරන බව පෙර සිටම ඔහු දැන සිටියේය. තමාද නොදැනුවත්වම පෙ කර ඇත්තේ ඇයටය. විශාල සටනකින් පසුව රාජ්‍යක් අත් පත් කරගත් විට රජෙකුට දැනෙන අන්දමේ සතුටක් ඔහුට දැනිණි. වහා ලිපිකවරයත් ලිපියත් සාක්කුවට දමා ගත ඔහු කඩිනමින් විසිත්ත කාමරය දෙසට ඇවිද ගියේය.
*************************************************************************************************************
"ආ මචන් උඹට දැන් හොදයිද?" ඔහු දුටු විගසම සහන් ඇසීය.
"සඳනි.. නාදි එන්නේ කීයටද?" මිතුරාගේ ප්‍රශ්නය මගහැරි නිෂිත ඇසිය.
"දැන් මග එනවා ඇති නිෂිත. ඇයි?"
"ඇයි මොකද නිෂිත?" ඉසුරුද විමසුවේ මිතුරා මෙපමණ කලබලෙන් යුවතියක ගැන විශේෂයෙන් නොදන්නා යුවතියක ගැන අසනු කිසිදින දැක නොමැති බැවිනි.
"උඹල දෙන්න මන් එනකන් එක්කෝ මෙහෙ හිටපල්ලා. නැත්තන් ඕනේ එකක් කරගනිල්ල. මන් හදිස්සි ගමනක් යනවා. සඳනි මන් යනවා" පොදුවේ තිදෙනාටම පැවසු නිෂිත කඩිනමින් ගොස් රිය පණගන්වා ගත්තේය.
පුදුමයෙන් තම අසුන් වලින් නැගිටගත් තිදෙනා මිදුලට ගොස් බලන විටත් ඔහු පිටත්ව ගොස් හමාරය.
"මොකද්ද බන් උනේ?" ඉසුරු විමසුවේ කිසිත් වටහාගත නොහැකිවය.
"යකෝ දැන් පැයකට කලින් මැරෙන්න ලං වෙලා වගේ හිටපු එකා නේද මූ?" සහන්ද කීය.
"බලපන්. දැන් අපි කොහොමද යන්නේ?"
"එයා ගිය තැනකින් එන්නේ නැතැයි. ඕගොල්ලෝ ඉන්න. දැන් ක්‍රිශානුත් මග එනවා ඇති"
"මුට නම් අනේ මන්ද වෙලාවකට මොන යකා වහෙනවද කියල. ටිකක් හොඳ උනා විතරයි ගියා." සහන් පැවසුවේ කෝපයෙනි. "තාම එක බෙහෙත් වේලයි ඇගට වැටුණේ. ආයිත් අසනීප උනොත් එහෙම."
"අපි බලමුකෝ.එයාට මොකක හරි මතක් වෙන්නැති හදිසියේ"
*************************************************************************************************************
ප්‍රධාන මාර්ගයේ සිට කුශීගෙ ගෙදර පිහිටා තිබු අතුරුපාරට හැරෙන තැන නිෂිත රිය නතර කළේය. ඇය නිවසට යනවානම් යායුත්තේ මෙතන පසුකොටය. ඔහුට වැඩි වෙලා බලා සිටීමට සිදු නොවිණි. ලා රෝස පති දෙපතුල තෙක් දිගු වූ ගවුමක් හැඳ තනි කරලකට ගෙතූ කොණ්ඩය ලැම මතට වැටෙන සේ දමාගෙන පොත් මිටියක්ද තුරුළු කොටගත් ඈ පොලවට නොරිදෙන සේ පා තබමින් සෙමින් සෙමින් එමින් සිටියාය.
"ඔයත් හරියට සංගීතය වගේ. ඔයා දිහා බලන් හිටියත් හිත සැනසෙනවා කුශී" ඇය එනයුරු බලමින් ඔහු සිතීය.
"නාදී" ඔහු සිටිනු ඇය නොදුටු බව වැටහුණු හෙයින් ඔහු දුර තියාම ඇය ඇමතීය.
හිස ඔසවා බැලු ඈ ඔහු දුටුවේ පුදුමයට පත්ව නතර වුවාය.
"ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ "
"කියන්න අයියා" ඇය කීවේ බියපත්ව ය.
බියවන්නට හේතුවක් නැත. නමුත් ඇය බියවෙයි.
"මෙතන කියන්න බෑ. අපි කොහෙටහරි යමු. ඔයා මාව විශ්වාස කරනවානම් නගින්න වාහනේට."
ඔහු අවිශ්වාස කරන්නේ කුමටද? ඇය රියට නැගුනාය. ඔහු රිය පදවාගෙන ගොස් තමන් දැනසිටි තරමක් පාළු අතුරු මාර්ගයකට පිවිසුණේ තරමක් දුර ගොස් නතර කළේය.
"මං මේ වගේ පාළු තැනකට එක්කන් ආවට තරහ නෑ නේද?" ඇය දෙස මද වෙලාවක් බලා සිටීමෙන් අනතුරුව ඔහු විමසීය. "මට ඔයත් එක්ක ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. කියන්න ඔයා බය නෑ නේද?"
ඇය නැතැයි කියන්නට මෙන් හිස සැලුවාය.
"නාදි..... මන් දිහා බලන්න ටිකක්"
ඇය සෙමෙන් හිස හරවා ඔහු දෙස බැලුවාය.
"මං ඔයාට ආදරේ කරනවා කිව්වොත් ඔයා ඒක පිළිගන්නවද?" ඔහු ඉවසිල්ලේ නැවතිල්ලේ විමසුවේ ඇගේ දෙනෙත් දෙසම බලාගෙන ය. ඇගේ කාන්තිමත් දෙනෙත් විස්මයක් හෝ සතුටකැයි කිවහැකි හැඟුමකින් දැල්වෙනු දුටු ඔහුට ඒ දිගු දෙනෙත් සිපගන්නට සිතුනද ඔහු තවත් ඉවසුවේය.
වදනකුදු පවසගත නොහැකිව සැලෙන දෙතොලින් යුතුව ඇය තවමත් ඔහු දෙස බලාසිටියාය. මොහොතකට පෙර තමා ඇසුවේ සැබෑවක්ද ? නොඑසේනම් සිහිනයක්ද?
"එදා සඳනි ගේ වෙඩින් එකේදී ඔයාව දැකපු වෙලේ ඉඳල මම ඔයාට ආදරේ කළා. ඒ වගේම මගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මට ලස්සනට සින්දු ලියල එවන ගර්ල් ගැන ලොකු ගෞරවයකුත් මගේ හිතේ තිබුන. ඒ දෙන්නම එක්කෙනෙක් කියල දැනගත්තු වෙලේ මට දැනුනු සතුට කොච්චරක් ද කියල ඔයා දන්නවද නංගි"
ඔහු ඇය අවසානයට ලියු ගීතය සහ ලිපි කවරය ගත්තේය.
ඔහු පැමිණ ඇත්තේ සියල්ල දැනගෙන වග එය දුටුවනම ඇයට වැටහිණි. තවත් දරා සිටිය හැකි උනේ නැත. ඇය හඬා ගෙන ඔහුට තුරුල් වුවාය. ඔහු ගැන සිතන හැම මොහොතේම ඇයට දැනෙන බලාපොරොත්තු රහිත බව මේ මොහොතේ ඇයට නොදැනිණි. ඇයට සිහිවුයේ තමන් දුටු දා සිට පෙම් කල ඔහු සැබෑවටම තමාටම හිමිව ඇති බව පමණි. ඔහු තවත් තදින් ඇය වැළඳගෙන හිස අත ගෑවේය.
"මට සමාවෙන්න අයියා. මම ඇත්ත කියන්න බය උනා. එදා අපි හම්බුනු වෙලාවෙත් මට කියන්න හිතුන. ඒත් මට හිතුනා ඔයා විශ්වාස කරන්නේ නැති වෙයි කියල. මම මුල ඉඳලම ඔයාට ආදරේ කළා. ඒත් ඔයාට තියෙන ප්‍රසිද්ධියට....."
ඇය කියාගෙන යද්දී ඔහු ඇය නැවැත්විය.
"ඇති ඇති මම හැමදේම දන්නවා. කුශී මට එවපු ලියුම අකුරක් නෑර මට මතකයි. අඩුගානේ ඔයා මට හරියට නම වත් කියල තිබුන නම් මම මීට කලින් ඔයාව හොයාගන්නවනේ"
"කුශී කියන්නේ බොරු නමක් නෙවෙයි. මගේ නම කුශී නාදියා. හැමෝම මට කතා කරන්නේ කුශී කියල. සඳනි අක්ක විතරයි නාදි කියන්නේ. ඔයාල අදුරන්නේ එයාව විතරනේ ඉතින්"
"මට ඕනේ උනේ ඉස්සර ඉඳන්ම ඔයා වගේ අහිංසක කෙල්ලෙක්. මම කවදාවත් හිතුවේ නෑ මට එහෙම කෙනෙක් ලැබෙයි කියල. දන්නවද නාදී මං ඔයාට ගොඩාක් ආදරෙයි" ඇගේ දෙනෙත් තුල කිමිදෙමින් පැවසු ඔහු ඇය තදින් වැළදගෙන සිපගනිද්දී තමාගේ මුළු ජිවිතයම නිහඬව ඔහුට බාරදුන් ඇය ඔහුටම ඉඩදී දෙනෙත් පියාගත්තාය.
************************************************************************************************************