Friday, September 6, 2019



මා සිත්ගත් චිත්‍රපට - 02
හමාරි අදුරී කහානී
කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බැහැ මේ ගැන කියන්න. ඉම්රාන් ගේ චිත්‍රපට මම බලන්න හේතුව ඔහුගේ අතිදක්ෂ තාත්වික රංගනයටත් වඩා ඒකෙ තියෙන සින්දු ටික හින්ද. ඔහු රගපෑ සියලුම චිත්‍රපට වල මට හිත යන සින්දුවක් තියෙනවාමයි. එතකොට මේ චිත්‍රපටය මට අනුව නම් ඇති විශිෂ්ට වෘතාන්තයක්. සාමාන්‍ය පෙම් පුවතක් කියන එක අමතක කලොත් ඉන් ජිවිතයට ගතහැකි දේ ඕන තරම්.
වසුදා සැමියා නොමැතිව තම දරුවා හදා වඩා ගන්නට වෙහෙස වන මවක්. ඇය සේවය කරන්නේ හෝටලයක. අලංකාර ලෙස හෝටලය සැරසීම තමයි ඇගේ රැකියාව. ආරව් ඇයට හමුවන්නේ එහිදී. ඔහු ඉතා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්.
හෝටලයට පැමිණි මොහොතේ ආරව් ඇගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ ඇය සැරසීමට යොදාගත් මල් වර්ගය ගැන.
එක්තරා ලිලි මල් විශේෂයක්. සරලත්වය, අහිංසකකම සැබෑ ආදරය මේ මල් වලින් පිලිබිබු වෙනවා. ඈ පිළිතුරු දෙනවා.
පෙන හැටියට නම් ඔබ ඔබේ රැකියාවට ගොඩක් ආදරය කරන කෙනෙක් වගේ. ආරව් අහනවා.
ඔව්. ඒත් ඔබ දන්නේ කොහොමද?
ආරව් ඇයට මෙහෙම කියනවා. ඔබ මේ මල් සකසා තිබෙන ආකාරය අනුව මට කියන්න පුළුවන්. කෙනෙක්ගේ හැගීම් සිතිවිලි වගේම චරිතය ඒ කෙනාගේ ක්‍රියා වලින් පිළිබිඹු වෙනවා.
සත්‍ය නේද? සිනහවෙන් නැතත් කතාවෙන් නැතත් පුරුදු වලින් ක්‍රියා වලින් අපිට කෙනෙක් ගැන අදහසක් ගන්න පුළුවන්.
ආරව් ඇයගෙන් තව ප්‍රශ්නයක් අහනවා. ඔබේ රැකියාවේ ඔබ අකැමති දෙයක් තියෙනවද?
මදක් ඔහු දෙස බලාසිටින ඇය ඊට පිළිතුරු දෙනවා. මල් නෙලන එක. හරියට පිපෙන්නත් කලින් අපේ සතුට වෙනුවෙන් අපේ දුක වෙනුවෙන් අපේ ජයග්‍රහණ වෙනුවෙන් මේ මල් වලට එයාලගේ ජිවිත බිලිදෙන්න වෙනවා. ඒත් කරන්න කිසිම දෙයක් නැහැ. මගේ පවුල වෙනුවෙන් මට මේ රැකියාව කරන්න වෙනවා.
සත්‍ය නේද? අපි මොන දේට ද මල් යොදා නොගන්නේ. මලක් ගැන මම කවදාවත් ඒ කෝණයෙන් බලා තිබුනේ නැහැ.
ඇය කි සියල්ල අසා සිටින ආරව් මෙහෙම කියනවා. ඔබ නිවැරදියි. පවුල වෙනුවෙන් අපිට හිතන්න බැරි තරම් කැපකිරීම් කරන්න වෙනවා.
මෙය ලියන මමත් කියවන ඔබත් පවුල වෙනුවෙන් නොකරන දෙයක් තිබෙනවද? නැහැ නේද?
ආරව් ඇයට ඩුබායි හෝටලයක රැකියාවක් දෙනවා. ඒ යන දිනයේ ඒ හෝටලය අලංකාර මල් වලින් සරසා තිබෙනවා.
මෙතන මල් හතලිස්දාහකට වඩා තියෙනවා. නමුත් මට මොකද්දෝ අඩුවක් දැනෙනවා. ඔබට කියන්න පුලුවන්ද මොකක්ද ඒ අඩුව කියලා. ආරව් අහන්නේ වසුදා ඩුබායි හෝටලයට ගිය පලවෙනි දවසේ.
වටපිට බලන වසුදා හරි පුදුම උත්තරයක් දෙනවා. මෙතන ගොඩාක් ලස්සනයි ඒත් මෙතන කිසිම වියලි කොලයක් නැහැ. පරවී ගිය මල් ටිකක් නැහැ. මෙතන ගොඩාක් ලස්සනයි සමහරවිට ඕනෑවටත් වඩා ලස්සනයි. ඒ හින්දා එකෙ කෘතීම ගතියක් තියෙනවා. ඒ හින්දා වෙන්න ඇති මේ අලංකාර බව ඒ තරම් හදවතට දැනෙන්නේ නැත්තේ. මොන ලස්සන දේ උනත් එහි මොකක් හරි අඩුවක් තියෙනවා. සඳේ උනත් ආවාට තියෙනවා. හැමදේම සර්ව සම්පුර්ණ වුනහම එහි කිසිම ඇත්ත බවක් නැහැ.
ඇත්ත නේද? අපේ ජිවිත වල මොනවා හෝ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට අපි උත්තර හොයනවා. දුක් කම් කටොලු හැලහැප්පිලි මැද ජිවිතේ ගත වෙනවා. ඒ ප්‍රශ්න කිසිවක් නොතිබුනා නම් සමහරවිට අපිට ජීවිතය රසවත් නැති බව ඒකාකාරී බව සිතෙන්න පුළුවන්.
ආරව් එක මොහොතක ඔහුගේ යාලුවාගෙන් මෙහෙම අහනවා. මට හැමදේම තියෙනවා. සල්ලි තත්වය ඒ හැමදෙයක්ම. ඒත් මට සතුටක් නැත්තේ ඇයි ි?
යාලුවා ඔහුට පිළිතුරු දෙනවා. ඔබට තවම ඔබේ හදවත බලාපොරොත්තු වෙන දේ ලැබී නැහැ. ඔව් රැකියාව උනත් ඉගෙන ගන්න ක්ෂේත්රය උනත්කොටින්ම සහකරු උනත් අපි තෝරාගත යුත්තේ අපේ හදවත පතන දේයි. අපිට හය වසරේදී සෞන්දර්ය විෂයන් තෝරාගන්න තිබුනා. මට අවශ්‍ය උනේ පෙරදිග සංගීතය හදාරන්නයි. ඒත් මගේ මවට අවශ්‍ය උනේ නැටුම් හදාරනවා දකින්නයි. ඇගේ කැමැත්තට තොරගත්තත් මම කිසිම උවමනාවකින් ආසාවකින් එය හැදෑරුවේ නැහැ. නැටුම් පීරියඩ් එකට යන්නෙත් මරන්න ගෙනියනවා වගේ. අදත් මම පසුතැවෙනවා පෙරදිග සංගීතය හදාරන්න තිබුණු අවස්තාව මම නැති කරගත්ත එක ගැන. නමුත් එදා මම පාඩමක් ඉගෙන ගත්තා. මම අකමැති දෙයකට කැමති වෙන්න උත්සහ කිරීමෙන් මම කරන්නේ මාවම රවටා ගැනීමක්.මා කලයුත්තේ මම කැමති දේයි. ගන්න තීරණ වැරදි වෙන්න පුළුවන් සාර්ථක නොවෙන්න පුළුවන්. දෙමව්පියන්ගේ උනත් තීරණ හරියටම හරි බව කලින් නිගමනය කරන්න බැහැ. නමුත් අපි අපි වෙනුවෙන්ම යම් තීරණයක් අරගෙන එය වැරදුනත් අපිට තෘප්තිමත් වෙන්න පුළුවන්. මොකද අපි උත්සහ කරන්නේ හිතට එකගව අපිටම අවංකව ජිවත් වෙන්න නිසා.
අපි හැමදෙනාට මොකක් හෝ වේදනාවක් තියෙනවා. හිත රිදීම් තියෙනවා. පරාජයන් තියෙනවා. ඒවා නැති වෙන්න අපි රොබෝලා නෙවෙයි. සාමාන්‍ය මිනිස්සු. ඒ වේදනාව නැති කරගන්න එක එක්කෙනාට ආවේනික විදි තියෙනවා. මම නම් කරන්නේ කොලයක් පෑනක් අරගෙන ලියලා ලියලා ඒ ලියපු කොළ පුච්චලා දාන එකයි. ආරව් ඒ වේදනාව නැති කරගන්න තෝරාගත් ක්‍රමය සාර්ථක මිනිහෙක් වෙන එකයි. ඔහුව තලාපෙලා දැමු සමාජය විසින්ම ඔහුව පිළිගන්න තැනට පත් වූ එකයි. නමුත් එය අතිසාර්ථක ක්‍රමයක් නෙවෙයි. ඔහුගේ හිතේ තවමත් සැගවුණු වේදනා තියෙනවා. නමුත් ඔහු තවත් ක්‍රමයක් හොයාගන්නවා. ඒ තවත් කෙනෙකුට සතුටක් වෙන එකයි. තවත් කෙනෙකුගේ ජිවිතයට ආලෝකයක් වෙන එකයි. කෙනෙක්ගේ සතුටට හේතුවක් වෙන්න පුළුවන් නම් තමන්ගේ දුක් වේදනා ඉබේම නැති වෙලා යන බව ඔහු කියනවා.
සත්‍යද? ඔබ ගැනම සිතා ඔබ එය තීරණය කරන්න.
වසුදා ආරව්ගේ ප්‍රේමය පිළිගන්න මැලිවෙනවා. ආරව් එහිදී ඇයව තම මව වෙත කැදවාගෙන යනවා. කාන්තාවකට ඊට වඩා ගෞරවයක් කොහේද. සැබෑවටම ආදරයක් ඇත්නම් තමන්ගේ අයට ඔබව හදුන්වා දෙන්න ඔබේ පෙම්වතාට පෙම්වතියට හැකිවිය යුතුයි.
ආරව්ගේ මව වසුදාට කියනවා ආදරය වගකීමක් බව. කියෙන් කී දෙනාද ආදරය වගකීමක් බව හිතන්නේ. විවාහය වගකීමක් බව සිතන අය ඕනෑතරම්. නමුත් ආදරය වගකීමක් බව කිසිවෙක් සිතනවා ද? නමුත් එය හරිම සුන්දර සිතිවිල්ලක් බව මම සිතනවා.
ආරව්ගේ මව තවදුරටත් වසුදා ට මෙහෙම කියනවා. ජීවිතය හැම වෙලාවේම අපිට අවස්ථා දෙකක් දෙන්නේ නැහැ. ඒ හින්දා ලැබුණු වෙලාවේ පැනලා යන්න එපා. ඔව් හැමදෙනාගේම ජිවිත වල හැමදාම අදුර තියෙන්නේ නැහැ. ආලෝකය කවදා හෝ ලැබෙනවා. ඔබ නොසිතන මොහොතක හරි දේවල් ඔබට අයිති දේවල් ලැබිය හැකියි. එය හදුනාගැන්ම විතරක් නොවේ පිළිගැනීමත් ඔබේ වගකීමක්.
වසුදාගේ සැමියා නොකළ වරදකට වැරදිකරු වෙනවා. නමුත් ඔහු තමන්ගේ නිවැරදි බව සනාත කරන්න උත්සහ කරන්නේ නැහැ. ඇයි ඔබ නොකළ වරදකට වැරදි කරු වෙන්නේ ේ? ඔහුගේ පරික්ෂනය් භාර පොලිස් නිලධාරියා අහනවා.
ඔහු මෙහෙම පිළිතුරු දෙනවා. " මට මගේ බිරිද නැවත ඕනේ. ඇය මගේ. මම එයාට යන්න දෙන්නේ නැහැ. මම ඇයව හොදට දන්නවා. මගේ තත්වය දන්නා නිසා ඇය කීයටවත් අර මිනිහා ගාවට යන්න උත්සහ කරන්නේ නැහැ. ඔහු සමහරවිට පොහොසත් වෙන්න පුළුවන්. ඒත් ඔහුට ඇගේ ආත්මය මිලදී ගන්න බැහැ ැ. මොකද ඇගේ ජිවිතයේ නුල තියෙන්නේ මගේ අතේ. මම මගේ ජීවිතය තියෙනකම් ඇගේ ජීවිතය පාලනය කරනවා. මම කවදාවත් එයාට මගේ අතින් ගිලිහිලා යන්න දෙන්නේ නැහැ. ඇය ට අයිතියක් නැහැ තව කෙනෙක්ට ආදරය කරන්න. ඇය ට සාමයෙන් ජිවත් වෙන්න බැහැ. ඇය ඒ වරදට දඩුවම් විදිය යුතුයි මුළු ජීවිතයෙන්ම වන්දි ගෙවිය යුතුයි. මම ඔවුන් දෙදෙනාට සතුටින් ඉන්න දෙන්නේ නැහැ." ගොඩාක් ගැහැණු ළමුන් වරද්දා ගන්න තැන මෙතැනයි. අයිතිය පෙන්වීම කියන්නේ ආදරයම නොවේ. සිරකර තබා ගැනීම කියන්නේ ආදරය නොවේ. අසිමන්තිකව අයිතිය පෙන්වීම ආදරය නොවේ. එවන් මුලාවකට මේ වෙනකොටත් ඉන්නවා නම් දෙනෙත් හැර බලන්න.
වසුදාගේ සැමියාගේ නිවැරදි බව සනාත කිරීමට ආරව් සමත් වෙනවා. නමුත් ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය සැබෑ ලෝකයේ ජයගන්නේ නැහැ. සත්‍ය ප්‍රේමය විවාහයෙන් කෙලවර විය යුතු යයි නියමයක් නැහැ. එවැනි පෙම් කතා ඇත්තේ චිත්‍රපට වල පමණක්ම වන්නට ඇති. නමුත් සැබෑ ජිවිතයේ ඒ දේවල් ඇත්තෙම නැති බව ස්ථිරවම පවසන්න ඔබට වත් මට වත් බැහැ.
ඔබට අවශ්‍ය මොනවාද යන්න සිතා බලන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. දවසක ඔබ ඔබටම ඒ පිළිබඳව ස්තුතිවන්ත වේවි.
රචනය: වාසනා පෙරේරා.
Image may contain: 2 people, text